කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලංකිකයින් තිදෙනෙකු ඩුබායි හරහා ඉතියෝපියාවට යවා, එහිදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක් කිරීමේ ජාවාරමක ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිළිනොච්චිය, යාපනය සහ වව්නියාව ප්‍රදේශවල පදිංචි 25, 26 සහ 27 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනෙකු මෙම ජාවාරමට හසුවී ඇති අතර, ගුවන් ටිකට්පත් සහ වීසා ලබා ගැනීම සඳහා සැකකරු ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 64ක මුදලක් ලබාගෙන ඇත. ඩුබායි හරහා ඉතියෝපියාවට ගිය මෙම තරුණයන් එරට ක්‍රියාත්මක අපරාධ කල්ලි විසින් පැහැරගෙන ගොස් නිදහස් කිරීම සඳහා එක් අයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 30,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, වින්දිතයන්ගේ ඥාතීන් රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් ද ලබා දී තිබේ.
පසුව, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සහ ඉතියෝපියානු බලධාරීන්ගේ සහයෝගයෙන් පැහැර ගැනීමට ලක් වූ ලාංකිකයින් තිදෙනා මුදාගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ යළි දිවයිනට එවීම සඳහා පියවර ගෙන ඇත. මෙම ජාවාරමට සම්බන්ධ පාකිස්තානු ජාතිකයින් 4 දෙනෙකු සහ ඉතියෝපියානු ජාතිකයෙකු එරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර, කිළිනොච්චියේ පදිංචි ප්‍රධාන සැකකරු මෙරටදී සීඅයිඩී මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.














