අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.
අද (04) දහවල් වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3ක් දක්වා ළඟා වී තිබූ අතර, ගත වූ පැය 24 තුළ එම ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 162ක තද වර්ෂාපතනයක් ලැබී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරු සඳහන් කරති. මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7ක් දක්වා ළඟා වී ඇති අතර, එම ප්‍රදේශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 125ක වර්ෂාපතනයක් ලැබී ඇත.
මෙම ජලාශ දෙකෙහිම ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු මේ වන විට උපරිම ධාරිතාවයෙන් සිදුකරන බව එම බලාගාර භාර ඉංජිනේරුවරු පවසති.














