ලෝකය පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන් දිනපතා භාවිත කරන ප්‍රධානතම ඖෂධයක් වන ‘මෙට්ෆෝමින්’ (Metformin) පිළිබඳව ‘Science Advances’ විද්‍යාත්මක සඟරාවේ පළ වූ නවතම පර්යේෂණයකින් විස්මිත තොරතුරු අනාවරණය වී තිබේ.
1922 දී නිපදවා දශක හයක් තිස්සේ දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා රුධිර සීනි මට්ටම පාලනය කිරීමට භාවිත කරන මෙම ඖෂධය ක්‍රියාත්මක වන්නේ අක්මාව හරහා පමණක් බව මෙතෙක් විද්‍යාඥයින් විශ්වාස කළද, නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එය අපගේ මොළය සමඟද සෘජුවම සම්බන්ධ වන බවයි.
ඇමෙරිකාවේ බේලර් වෛද්‍ය විද්‍යාලයේ ස්නායු ජීව විද්‍යාඥ මකොටෝ ෆුකුඩා සහ ඔහුගේ කණ්ඩායම විසින් කරන ලද පර්යේෂණයකදී, මීයන්ගේ මොළයේ හයිපොතැලමසයේ විශේෂිත ප්‍රදේශයක පිහිටි ‘Rap1’ ප්‍රෝටීනය ඉවත් කරන ලද අවස්ථාවක මෙට්ෆෝමින් ඖෂධයට රුධිර සීනි මට්ටම පාලනය කිරීමට නොහැකි වී ඇත. ඉන්සියුලින් සහ GLP-1 වැනි අනෙකුත් ඖෂධ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවද, මෙට්ෆෝමින් සාර්ථක වීමට නම් මොළයේ ඇති මෙම Rap1 ප්‍රෝටීනය අත්‍යවශ්‍ය වන බව මෙයින් තහවුරු විය.
















