ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවක් පවතින බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි. 2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක සමස්ත ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඉන් බිලියන 379ක් පුනරාවර්තන වියදම් ලෙසත්, බිලියන 151ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් වෙන් කර ඇත.
මෙම සාකච්ඡාවේදී ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කැඩෙට් නිලධාරින් මෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස විමසා බැලීමට ලක්විය. අධ්‍යාපනික සහ ධාරිතා සංවර්ධනයට අවශ්‍ය ආයතන පද්ධතිය ගොඩනැංවීම මෙන්ම රජයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් සහ අධික පිරිවැය අවම කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරු බලකායන් සතු දක්ෂතා උපරිමයෙන් ලබා ගැනීම සහ ඒ සඳහා විශේෂ දීමනාවක් ගෙවීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.
යුද හමුදාව යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති 17ක් පිළිබඳවත්, නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක විවිධ විද්‍යුත් උපාංග එකලස් කිරීම් සහ සෝලා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීමේ ව්‍යාපෘති ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබේ. ගුවන් හමුදාව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 136ක් යටතේ යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව සහ වර්තමාන ගෝලීය තර්ජනවලට ගැළපෙන පරිදි නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතය කෙරෙහිද අවධානය යොමු කර ඇත.
මීට අමතරව, ආපදා කළමනාකරණ අංශය වෙනුවෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 10ක පුනරාවර්තන වියදම් සහ රුපියල් බිලියන 103ක ප්‍රාග්ධන වියදම් යටතේ ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනය කෙරුණු අතර, නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති සහ නවීන ඩොප්ලර් රේඩාර් (Doppler Radar) පද්ධති ආදී වැඩසටහන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්විය.
















