කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය වේගවත් කිරීම සහ ශ්‍රී ලංකාව කලාපීය කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ ජාතික මුලපිරීමක් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL ආයතනය ඒකාබද්ධව “ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සතිය 2026″ (Sri Lanka AI Week 2026) නිල වශයෙන් එළිදක්වා තිබේ.
“AI Amplified” යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන හරහා ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරිකයින්, පර්යේෂකයින්, ආරම්භක ව්‍යාපාරිකයින්, සිසුන් සහ තාක්ෂණික ප්‍රවීණයන් එකතු කර රටේ කෘත්‍රිම බුද්ධි පරිසර පද්ධතිය සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. පසුගිය 2025 වසරේ පැවති පළමු ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනයේ සහ සමුළුවේ සාර්ථකත්වය මත පදනම්ව, මෙවර AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන ප්‍රධාන අංශ හතරක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ගෝලීය තාක්ෂණික සේවාවන් පාරිභෝගිකයෙකු මෙන් භාවිත කිරීමෙන් ඔබ්බට ගොස් කෘත්‍රිම බුද්ධි මත පදනම් වූ විසඳුම් නිෂ්පාදකයෙකු බවට පත්විය යුතු බවයි. තවද, ජාතික කෘත්‍රිම බුද්ධි සතියේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
ජාතික සම්මාන, කර්මාන්ත විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ අනාගතය, සහ අන්තර්ගතය සඳහා AI ඇතුළු අංශ 16කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උළෙල (National AI Awards) පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයට සමාගම සහභාගී වෙමින් SLT-MOBITEL ආයතනය විසින් දකුණු ආසියාවේ පළමු AI ටෝකනීකරණ වේදිකාව වන SMART AI සහ ඉගෙනුම්කරුවන්, පර්යේෂකයින් සහ රජය එකිනෙක සම්බන්ධ කරන AI Hub යන නව කෘත්‍රිම බුද්ධි මුලපිරීම් දෙකක් ද හඳුන්වා දෙන ලදී.
මෙම ආරම්භක අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති වෛද්‍ය හාන්ස් විජේසූරිය, SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් යන මහත්වරුන් ඇතුළු රජයේ සහ කර්මාන්ත නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
















