ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වී තිබේ. මෙය ඔවුන් LPL ඉතිහාසයේ අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පස්වන අවස්ථාව වීම විශේෂත්වයකි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගයේදී (Qualifier 1), ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 242ක් රැස් කළේය. එය LPL ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය. ජැෆ්නා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිල් මිශාර පන්දු 55කින් නොදැවී ලකුණු 108ක් රැස්කළ අතර, එය ඔහුගේ මංගල විස්සයි20 ශතකය ලෙස සටහන් විය. ඔහුගේ එම අපූරු ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් විය. මීට අමතරව Khawaja Nafay ලකුණු 54ක් සහ තව්හිද් රිදෝයි නොදැවී ලකුණු 54ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවූහ.
ජැෆ්නා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 243ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 228ක් පමණි. ඒ අනුව ලකුණු 14ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර LPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නිල වශයෙන් තේරී පත්විය.














