ටික්-ටොක් (TikTok) ඔස්සේ සජීවී විකාශයක් සිදු කරමින් සිටියදී මෙක්සිකෝවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සීසාර් ගැස්ටලුම් (César Gastélum) වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙක්සිකෝවේ උතුරුදිග කුලියාකන් (Culiacán) නගරයේ ට්‍රෙස් රියෝස් (Tres Ríos) ප්‍රදේශයේ පිහිටි ක්ෂණික ආහාර ආපන ශාලාවක් ඉදිරිපිටදී ඔහු මිතුරන් දෙදෙනෙකු සමඟ වීඩියෝ පටිගත කරමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුව ඇත.
මෝටර් රයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔහු අසලට පැමිණ ළඟ තබා වෙඩි තැබීම සිදු කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා එතැනින් පලා ගොස් තිබේ. මෙතෙක් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති අතර, පොලිසිය සහ වෝහාරික විශේෂඥයන් ප්‍රදේශය වට කර පරීක්ෂණ පවත්වමින් සිටී.
ටික්-ටොක් වේදිකාවේ අඩ මිලියනයකට අධික අනුගාමිකයන් පිරිසක් සිටි ගැස්ටලුම් ප්‍රධාන වශයෙන් හාස්‍යජනක (comedy) වීඩියෝ උඩුගත කිරීම් මඟින් ජනප්‍රියත්වයට පත්ව සිටියේය. මීට පෙරද 2024 දෙසැම්බර් මාසයේදී තවත් ජනප්‍රිය බලපෑම්කරුවෙකු වූ ලියෝබාර්ඩෝ අයිස්පුරෝ (Leobardo Aispuro) ද වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, සිනෝවා (Sinaloa) කාටෙල් කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් කුලියාකන් අගනුවර පිහිටි සිනෝවා ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඉහළ ගොස් තිබේ.














