කල්ගත වී ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව විසින් ශ්‍රී ලංකայෙන් ඉල්ලා තිබේ. එසේම දෙමළ ප්‍රජාවේ අපේක්ෂා ඉටු කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙසද ඉන්දීය පාර්ශ්වය අවධාරණය කර ඇත.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතාගේ බදාදා දිනයේ නිල ශ්‍රී ලංකා සංචාරය අතරතුර මෙම ඉල්ලීම කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මෙම සංචාරයේදී ධීවර ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර, අත්අඩංගුවට පـත්වී සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා ඇත. ද්විපාර්ශ්වික යාන්ත්‍රණ හරහා ධීවර ආරවුල විසඳා ගැනීමට කටයුතු කරන අතරතුර මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.
දෙසැම්බර් 2024 ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් පරිදි, ඉන්දීය ආරක්ෂාවට අහිතකර වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් සහතිකය ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් පිළිගෙන ඇත. මෙම සංචාරය අතරතුර වික්‍රම් මිස්රි මහතා ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම ශ්‍රී ලංකා දෙමළ සහ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවේ නියෝජිතයන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. යටිතල පහසුකම්, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය සහ ආර්ථික ව්‍යාපෘති ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය දෙපාර්ශ්වයම සමාලෝචනය කර ඇති අතර, ඉන්දියාවේ “අසල්වැසියාට මුල්තැන” (Neighbourhood First) ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන කැපවීම යළි තහවුරු කර ඇත.
















