ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද ‘SMART Irrigation System Project’ යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබා දී ඇත.
අදාළ ප්‍රතිලාභී ලැයිස්තුවට අනුව, කුච්චවේලි, නිලාවේලි, මුතූර්, වාන්ඇල, කින්නියා, සාම්පූර් සහ පදවි ශ්‍රීපුර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අයත් ගොවීන් 48 දෙනෙකු මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා තිබේ. මීට පෙර ඩීසල්, භූමිතෙල් හෝ විදුලි බලයෙන් ක්‍රියාත්මක කළ ජල පොම්ප භාවිත කිරීම නිසා ගොවීන්ට ඉන්ධන හා විදුලි වියදම්, නඩත්තු ගැටළු මෙන්ම වගා බිම් ප්‍රමාණය සීමා වීමේ අභියෝගවලට මුහුණ දීමට සිදුවී තිබිණි.
කෙසේ වෙතත්, සූර්ය බල ජල පොම්ප හඳුන්වා දීමත් සමඟ ඉන්ධන හා විදුලි වියදම් අවම කර ගනිමින්, නිෂ්පාදන පිරිවැය පාලනය කර, පෙර වගා නොකළ ඉඩම්ද වගාවට එක් කර ගැනීමට ගොවීන්ට හැකි වී තිබේ. විශේෂයෙන්ම කින්නියා, නිලාවේලි, වාන්ඇළ සහ සාම්පූර් යන ප්‍රදේශවල රටකජු, මඤ්ඤොක්කා සහ වම්බටු ඇතුළු විවිධ බෝග වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව පුළුල් කර ගැනීමට මෙම ව්‍යාපෘතිය ඉමහත් රුකුලක් වී ඇත.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ සේවාවන් ලබාගැනීම සඳහා අදාළ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය හෝ ත්‍රිකුණාමලය ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සම්බන්ධ කරගත හැක.
**ප්‍රවෘත්ති සැපයීම:** ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
**මාධ්‍ය ඒකකය:** කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
















