ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින් කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන “ශ්‍රී ලංකා AI සතිය 2026″ (Sri Lanka AI Week 2026) එළඹෙන සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛතම කෘතිම බුද්ධි තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර තලයේ ස්ථානගත කිරීම අපේක්ෂා කෙරේ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මෙවර නිල වෙබ් අඩවිය මෙන්ම “AI Hub” සහ “SMART AI” නව වැඩසටහන් ද එළිදක්වන ලදී.
“AI Amplified” තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම සතිය තුළ ජාත්‍යන්තර සමුළුවක්, තාක්ෂණික ප්‍රදර්ශනයක්, නවෝත්පාදකයින් ඇගයීමේ සම්මාන උළෙලක් සහ දිවයින පුරා දැනුම ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ඩොලර් බිලියන 5ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා දේශීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පර්යේෂණ, සංවර්ධන සහ AI හැකියාවන්ගෙන් සවිබල ගැන්වීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
















