කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) විෂය පථයන්ට අදාළ පාඨමාලා හදාරන සිසුන්ට වැඩිදුර අධ්‍යාපන සහ රැකියා අවස්ථා ලබා දීමේ අරමුණින්, ඔවුන් දකුණු කොරියාවේ චැංෂිං විශ්වවිද්‍යාලය (Changshin University) වෙත යොමු කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙයට අදාළව NIOSH ආයතනයේ නිලධාරීන් සහ අදාළ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් කම්කරු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. පසුගිය වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස නම් කර ඇති මෙම චැංෂිං විශ්වවිද්‍යාලය තුළ ශ්‍රී ලංකා සිසුන්ට ඉතා සහනදායි ගාස්තු යටතේ උපාධි මට්ටම දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකියාව ලැබේ. මූලිකව පාඨමාලා ගාස්තුවෙන් 50%ක් පමණක් සිසුන් ගෙවිය යුතු අතර, දක්ෂතා දක්වන සිසුන්ට එම ගාස්තුව 100% දක්වා නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබීම මෙහි විශේෂත්වයකි.
එමෙන්ම, අධ්‍යාපන කටයුතු ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක නිරත වීමටත්, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු දකුණු කොරියාවේ ස්ථිර රැකියා ලබා ගැනීමටත් සිසුන්ට මෙමඟින් අවස්ථාව උදා වේ. මෙම වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ඉදිරි මාසයක කාලය තුළ දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස, NIOSH ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේම නියෝජිතයෝ සහභාගී වූහ.














