ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කුඩා දරුවන් ඉලක්ක කර ලබා දෙන ‘කිව් ඩෙංගා – ටාක් 003’ (Qdenga – Tak 003) එන්නත භාවිතයට මේ වන විට පෞද්ගලික අංශයට පමණක් අනුමැතිය ලබා දී තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දරුවන්ට සහ නිදහස් සෞඛ්‍ය සේවාවට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම එන්නත මෙරට භාවිතය සඳහා පූර්ණ අනුමැතිය ලබා දී නොමැති පසුබිමක, පෞද්ගලික අංශයට පමණක් ඊට අවසර ලබා දී තිබීම ගැටලුසහගත බව හෙතෙම පෙන්වා දෙයි.
එන්නතෙහි මිල සහ ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් දැක්වෙන්නේ, මාස තුනක පරතරයකින් යුත් මාත්‍රා දෙකක් සමේ මේද ස්ථරයට එන්නත් කිරීම මඟින් ශරීරය තුළට අවශෝෂණය කරගන්නා බවයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ එක් එන්නත් කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 80 කට ආසන්න වන අතර, මෙරට රෝගියෙකුට සම්පූර්ණ මාත්‍රා දෙකම ලබා ගැනීමට රුපියල් 60,000 කට අධික මුදලක් (එක් මාත්‍රාවක් ආසන්න වශයෙන් රුපියල් 30,000 ක් පමණ) වැය කිරීමට සිදුව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු රෝගය පැතිරීමේ තීව්‍රතාවය වැඩි ප්‍රදේශවල වයස අවුරුදු 6 ත් 16 ත් අතර දරුවන් සඳහා නිර්දේශ කර ඇති එකම එන්නත ‘TAK – 003’ වන බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.














