කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (අගෝස්තු 06) දින ගනුදෙනු ආරම්භ වී මුල් භාගය තුළදීම රු. බිලියන 9 සීමාව ඉක්මවා යෑමට සමත් විය.
මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් වාර්තා වූ දැවැන්ත කොටස් ගනුදෙනුවක් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. පෙරවරු 10.40 පමණ වන විට එම සමාගමේ කොටස් මිලියන 86.88ක් එකක් රු. 100.50 බැගින් හුවමාරු වී තිබූ අතර, ඒ සඳහා රු. බිලියන 8.73ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
වාර්තා වන අන්දමට, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවකු වූ ඈවර කිරීමට යටත්ව පවතින “Group Lease Holdings PTE Ltd” සමාගම විසින් සිය කොටස් හිමිකාරීත්වය මෙලෙස අලෙවි කර ඇත. 2026 ජූනි 30 වන විට එම සමාගම කොමර්ෂල් ක්‍රෙඩිට් හි කොටස් මිලියන 95.39ක් හෙවත් සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 29.99%කට හිමිකම් කියනු ලැබීය.
මෙම දැවැන්ත ගනුදෙනුවත් සමඟ සියලු කොටස් මිල දර්ශක අගය ද ඒකක 100කින් ඉක්මවා ඉහළ යාම විශේෂත්වයකි.














