ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ විද්‍යාත්මක ඉගෙනුම නංවාලීමේ අරමුණින්, කටාර් පුණ්‍යායතනය (Qatar Charity) විසින් රුපියල් මිලියන 83ක පමණ ආයෝජනයකින් කළුතර මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ ඉදිකරන ලද නව තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කර තිබේ. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවල ඉගෙනුම ලබන සිසුන් 1,500කට අධික පිරිසකට මෙමගින් නවීන ඉගෙනුම් පහසුකම් හිමි වේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් සහ ශ්‍රී ලංකාවේ කටාර් තානාපති කාර්යාලයේ භාරකාර (Chargé d’Affaires) කලීල් අල් මහ්මූද් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ සාමාන්‍ය විද්‍යාව සඳහා වූ සම්පූර්ණ සන්නද්ධ විද්‍යාගාර හතරකින් සහ ඩිජිටල් සංදර්ශක පද්ධති සහිත පන්ති කාමර වලින් මෙම නව සංකීර්ණය සමන්විත වේ.














