දිගින් දිගටම පවතින දැඩි ද්‍රවශීලතා ගැටලු සහ බැරකම් පියවීමට නොහැකි වීම හේතුවෙන්, හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සහ එහි අනුබද්ධ සමාගම් වන හේලා ක්ලෝතින් ලිමිටඩ් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් ලිමිටඩ් අධිකරණ නියෝගයක් මගින් සමාගම් ඈවර කිරීමට (Winding up) තීරණය කර ඇත.
සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ උපාය මාර්ගික ආයෝජන ලබා ගැනීම වැනි විකල්ප රැසක් අත්හදා බැලුවද ඒවා අසාර්ථක වීම හෝ වාණිජමය වශයෙන් ප්‍රායෝගික නොවීම මත මෙම අවසන් තීරණයට එළඹුණු බව අධ්‍යක්ෂ දිලංක ජිනදාස මහතා කොළඹ කොටස් වෙළෙඳපොළට (CSE) නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ සඳහා වන ඈවර කිරීමේ අයදුම්පත් 2026 අගෝස්තු 5 වන දින කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කර ඇත. ණය හිමියන්ගේ සහ සේවකයින්ගේ පාඩු අවම කර වටිනාකම් සුරැකීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගවේෂණය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














