මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇතැයි එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් විශාලතම ජලාශ දෙක වන මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම පෙරේදා (අගෝස්තු 07) උදෑසන වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙළින් අඩි 02 ක් හා අඩි එකහමාරක් පමණ මට්ටමක පැවී ඇත. අඛණ්ඩව පවතින වැසි නිසා ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන් හා ඉහළ කොත්මලේ යන ජලාශ වරින් වර වාන් දැමීම හා පිටාර ගැලීම සිදුවෙමින් පවතී. ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලන්ඩ් හා ඉහළ කොත්මලේ යන විදුලිබලාගාර සියල්ලෙන්ම මේ වන විට උපරිම විදුලි උත්පාදනයක් ලබා ගනිමින් පවතී.
කෙසේ වෙතත්, කඳුකරයේ ජලාශ පිටාර ගැලීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, එම ගඟ දෙපස පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.














