වර්තමානයේ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් සිදුව ඇත්තේ යතුරුපැදි අනතුරු නිසා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා මේ බව සඳහන් කළේය.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා එහිදී පෙන්වා දුන්නේ, මෙම වසරේ ජනවාරි 01 වනදා සිට ජූලි 31 වනදා දක්වා කාලය තුළ මාරාන්තික අනතුරු 1,626ක් වාර්තා වී ඇති බවයි. එය 2025 වර්ෂයේ අදාළ කාලය තුළ වාර්තා වූ 1,585ක අගයට වඩා වැඩි අගයකි. මෙම කාලසීමාව තුළ යතුරුපැදිකරුවන් 749 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අතර අවුරුදු 18ට අඩු පැදිකරුවන් 13 දෙනෙකු ද වන බව හෙළි වී තිබේ.
අනතුරුවලදී සිදුවන මරණ බොහෝමයකට ප්‍රධාන හේතුව හිසට සිදුවන මාරාන්තික තුවාල (Head injuries) බව පෙන්වා දුන් සභාපතිවරයා, නිසි ප්‍රමිතියෙන් යුත් (SLS ලාංඡනය සහිත) ආරක්ෂිත හිස්වැස්මක් පැළඳීමෙන් ජීවිත හානි විශාල වශයෙන් අවම කරගත හැකි බව අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිය ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එකතුවී දිවයින පුරා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී.














