විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් එකක් නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම පවතින ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ හෝ රජයේ තනි මතයක් මත ගත් තීරණයක් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, පොලිසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට සහ අභියාචනාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සඳහන් කළේ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ විශ්‍රාම වයස දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති නමුත්, මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා පොදු සම්මුතියකට එළඹීම සුදුසු බවයි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.













