ගල්නෑව නගරයේ සිංහල බෙහෙත් බඩු අලෙවිසැලකින් පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය අඩංගු මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක් ගල්නෑව පොලිසිය සහ උතුරුමැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අනාවරණය වී තිබේ.
මෙම වැටලීමේදී පාසල් ළමුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මදනමෝදක ගුලි 93ක් සහ කුඩා ප්‍රමාණයේ බෝතල් 18ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් මෙම තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මීට පෙරද මෙම වෙළඳසැලේදීම පාසල් දරුවන්ට මදනමෝදක අලෙවි කරමින් සිටියදී පොලිසියට හසුවී කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු බව අනාවරණය වී ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගල්නෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.















