විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බව පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බැවින් මෙම යෝජනාව සමඟ ඉදිරියට නොයන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මෙම සාකච්ඡාව පවත්වා ඇත. අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජනාධිපති නීති උපදේශක ජේ.එම්. විජේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය පෙන්වා දී ඇත්තේ, බලතල බෙදීයාමේ සංකල්පය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණක් වන විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රාජ්‍ය සේවයේ වෙනත් සේවා කාල දීර්ඝ කිරීම්වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවයි. යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ජනාධිපතිවරයා හමුවේ නීතිඥ සංගමය යෝජනා කර ඇත්තේ නීතිඥවරුන්, විනිසුරුවරුන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළත් කර ගනිමින් නිසි උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත්, මෙම කාරණය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් වෙත යොමු කරන ලෙසත්ය.
















