2026 ලෝක ආදිවාසී දිනය සහ ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමයේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී පැවැත්වුණු විශේෂ අක්ෂි සායනය පසුගිය අගෝස්තු 08 සහ 09 යන දෙදින තුළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ ලලිත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ ප්‍රධාන ශාඛාව මෙන්ම මධ්‍යම සහ ඌව පළාත් සාමාජිකයින්ගේ දායකත්වයෙන් මෙම සත්කාරය සංවිධානය කර තිබිණි. ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී උරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ඉල්ලීම පරිදි ලෝක ආදිවාසී දින සැමරුම වෙනුවෙන් රට පුරා ගම්මානවලින් දඹානට පැමිණි ආදිවාසී ජනතාව වෙනුවෙන් මෙම අක්ෂි සායනය ක්‍රියාත්මක කෙරිණි. අගෝස්තු 08 දින වැඩිහිටියන්ගේ සහ 09 දින දරුවන්ගේ අක්ෂි පරීක්ෂා කිරීම සිදු කළ අතර, සමස්තයක් ලෙස ආදිවාසීන් 210 දෙනකුගේ ඇස් පරීක්ෂා කිරීම මෙහිදී සිදු විය. පරීක්ෂාවට ලක් වූ බොහෝමයක් ආදිවාසීන් ප්‍රකාශ කර ඇත්තේ තම ජීවිත කාලය තුළ මෙලෙස ඇස් පරීක්ෂා කරගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ආදිවාසී නායකතුමන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ උපැස් යුගලක් මෙහිදී නායකතුමන් වෙත භාරදුන් අතර, අනෙකුත් පිරිස සඳහා අවශ්‍ය උපැස් යුගල මාසයක් ඇතුළත නොමිලේ ලබාදීමට නියමිතය. එමෙන්ම, ඇසේ සුද ඉවත් කිරීම වැනි විශේෂිත අක්ෂි රෝග හඳුනාගත් පිරිස් ඉදිරියේදී රජයේ හෝ පෞද්ගලික රෝහල් වෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමට ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමය බලාපොරොත්තුවෙන් සිටියි.














