ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාද ජාතික ජන බලවේගය රජයට ජනවර්භයක් තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, ජනමත විචාරණයකට යෑමට හෝ රජයේ ධුර කාලය නීතිවිරෝධී ලෙස දීර්ඝ කරගැනීමට රජයට කිසිසේත්ම අවශ්‍යතාවක් නොමැති බවත්, සියලු මැතිවරණ නියමිත කාලයට පවත්වන බවත් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු අවධාරණය කළේය.
2026 අය-වැය ප්‍රතිපාදන යටතේ ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 25,000ක මුදලින් මේ වන විට සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සමීපව කටයුතු කිරීමෙන් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට වත්මන් රජයට හැකි වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














