2026 වර්ෂය සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කරන ලද සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස 03 ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන් අතර, විමධ්‍යගත අය-වැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ‘ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ වැඩසටහන ඇතුළු ව්‍යාපෘති රැසක වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු ලෙස, සංවර්ධන වැඩසටහන්වල මූලිකම හා ප්‍රධානතම අරමුණ දරිද්‍රතාව තුරන් කිරීම විය යුතු අතර, පූර්ව අත්දැකීම් පදනම් කරගනිමින් නිසි නිර්නායක සකස් කර නියාමනය සිදු කළ යුතුය. දිවයිනේ ඇළ මාර්ග හා ගංගාවල සම්පූර්ණ අයිතිය ගැසට් නිවේදනයක් මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු කර ඇති බැවින්, ඉදිරියේදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආයතනික හිමිකාරිත්වය පිළිබඳ ගැටලු ව්‍යාපෘති ප්‍රමාද කිරීමට හේතු කර නොගත යුතුය. මීට අමතරව, කිසිදු බාධාවකින් තොරව මෙම ව්‍යාපෘති කඩිනමින් නිම කර, එහි සැබෑ ප්‍රතිලාභ හැකි ඉක්මනින් ජනතාව වෙත ළඟා කර දීම රජයේ අපේක්ෂාව වේ.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, අසිත නිරෝෂණ, දේවානන්ද සුරවීර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














