පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වන අතර, වසර 5කට ආසන්න කාලයක් තුළ දින 245ක් පුරා ක්රියාත්මක වූ නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ලේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් වී ඇත. ඉදිරියේදී විත්තියේ සාක්ෂි විමසීම සහ දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරන දින නියම කිරීමට නියමිතය.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සමස්තයක් ලෙස නඩු 31ක් පවරා ඇති අතර, ත්රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වන නඩු 5න් දැනටමත් නඩු 3ක තීන්දු ප්රකාශයට පත් කර වැරදිකරුවන්ට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට මරණ දඬුවම නියම කිරීම සහ මාවනැල්ල බුද්ධ ප්රතිමා වලට හානි කිරීමේ සිද්ධියට වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම මීට පෙර සිදු විය. අලුත්කඩේ පැරණි මහේස්ත්රාත් උසාවි සංකීර්ණයේ ස්ථාපිත කළ නව ගොඩනැඟිල්ල වෙත ත්රිපුද්ගල මහාධිකරණය ගෙන යාමෙන් පසු පාස්කු මහ නඩුව දිනපතා විභාගයට ගැනීම සිදු කෙරිණි.














