ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆ්‍රැන්චයිස් ක්‍රමය මත සංවිධානය කරනු ලබන ඔරු පැදීමේ තරගාවලිය වන “ලංකා ඔරු පැදීමේ ලීගය” (Lanka Rowing League) කොළඹ ඔරු පැදීමේ සමාජයේ පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් එළිදක්වා ඇත. මෙරට ඉතිහාසගත ක්‍රීඩාවක් වන ඔරු පැදීම නව ආකාරයකින් ප්‍රතිනිර්මාණය කරමින්, ඉහළම මට්ටමේ තරගකාරීත්වය සහ නගර කේන්ද්‍රගත කණ්ඩායම් අනන්‍යතාව මූලික කරගනිමින් මෙම ලීගය ක්‍රියාත්මක කෙරේ.
මෙම සමාරම්භක තරගාවලිය සඳහා මහනුවර, සීගිරිය, මිරිස්ස, ත්‍රිකුණාමලය, ගාල්ල සහ කොළඹ නියෝජනය කරන ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හයක් එක්වීමට නියමිතය. කණ්ඩායම් වටයේ සහ අවසන් පූර්ව වටයේ තරගවලින් අනතුරුව, අවසන් මහා තරගය 2026 දෙසැම්බර් මස 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆ්‍රැන්චයිස් ඔරු පැදීමේ ශූරයන් ලෙස ඉතිහාසගත වීමට කණ්ඩායම් තරග වදිනු ඇත.














