ජාතික විදුලි බල පද්ධතියේ පවතින අස්ථාවර භාවයට සාර්ථක විසඳුමක් ලෙස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යාගාර සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවාදායක සඳහා බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම පිණිස SLAM Power Solutions විසින් අති නවීන මයික්‍රොග්‍රිඩ් බලශක්ති පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
මීට පෙර භාවිත කළ සාම්ප්‍රදායික UPS සහ ඩීසල් ජෙනරේටර් පද්ධතිවල පැවති සීමාකාරී සාධක මඟහරවා ගනිමින්, පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතාගේ පරිසර හිතකාමී දැක්මට අනුගතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. වසර 10කට පමණ පෙර සවිකර තිබූ අක්‍රිය 60 kW සූර්ය බලශක්ති පද්ධතිය යළි නවීකරණය කර, 100 kWh BSLBATT ලිතියම්-අයන් බැටරි ගබඩා පද්ධතියක්, නෙදර්ලන්තයේ Victron Energy ඉන්වර්ටර් තාක්ෂණය සහ එක්සත් රාජධානියේ Shelly ස්වයංක්‍රීය පාලන පද්ධති මේ සඳහා යොදාගෙන තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ E72-75 ආදි විද්‍යාර්ථීන්ගේ කණ්ඩායම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇති අතර, විද්‍යාගාර සඳහා විශ්වාසනීය බලශක්ති සැපයුමක් ලබා දීම මෙන්ම අනාගත ඉංජිනේරුවන්ට නවීන තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම මෙහි අරමුණයි. මෙම ව්‍යාපාරික ආරම්භක උත්සවය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.














