මේ වනවිට දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි GovPay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ලබාදී තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, 2025 අප්‍රේල් මාසයේ පොලිස් ස්ථාන 11කින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මෙම ක්‍රමවේදය 2026 පෙබරවාරි 3 වැනිදා වනවිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කර ඇත.
මෙම පහසුකම යටතේ රථවාහන වරදක් සඳහා නිකුත් කරන දඩ පත්‍රිකාවේ තොරතුරු භාවිත කරමින් GovPay සමඟ සම්බන්ධ බැංකු හෝ FinTech යෙදුම් හරහා දඩ මුදල ගෙවිය හැකිය. ගෙවීම තහවුරු වූ පසු අදාළ පොලිස් නිලධාරියාට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබෙන අතර, රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්රියාවලියද එමගින් පහසු කර තිබේ.
දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කළ අවස්ථාව වනවිට GovPay හරහා රථවාහන දඩ ගනුදෙනු 86,000කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 115 ඉක්මවා තිබූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.













