ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ශ්‍රී ලංකාවේ සංවර්‌ධන කටයුතු, ආපදා ප්‍රතිචාර සහ ආර්‌ථික ප්‍රවර්‌ධනය පිළිබඳ සාකච්ඡා කර තිබේ. අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී ශ්‍රී ලංකාවට JICA ආයතනය දීර්‌ඝ කාලයක් තිස්සේ ලබාදෙන සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කර ඇති අතර, දිට්වා සුළි කුණාටුවෙන් පසු ජපාන රජය ලබාදුන් සහන සහාය පිළිබඳවද ස්තූතිය පළ කර ඇත.
ආපදාවෙන් හානි වූ මහා මාර්‌ග සහ දුම්රිය මාර්‌ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, අනාගත ස්වාභාවික ආපදා සඳහා සූදානම් වීම සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්‌ථික වර්‌ධනය සඳහා ගෙන යන ක්‍රියාමාර්‌ග පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, ණය සහන ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට JICA සූදානම් බව නියෝජිත පිරිස සඳහන් කර තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීම සහ ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී ජාල ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය පිළිබඳවද දෙපාර්‌ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත. සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමේ වැඩසටහන් සඳහා සහාය වීමටද JICA සූදානම් බව සඳහන් කර ඇති අතර, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්‌ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල දෙරටේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.














