අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමයේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තීරණ ගැනීමේදී යම් යම් අවදානම් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, අමාත්‍ය මණ්ඩල පත්වීම් වැනි කරුණුවලදී අවදානම් ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී එවැනි අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
“අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් හෝ අවදානමක් එල්ල වන්නේ නම්, එය නොකළ යුතු දෙයක්. ජනාධිපතිවරයා පවා මෙහි අවදානමක් ඇති බව පිළිගන්නේ නම්, එයම ප්‍රමාණවත් හේතුවක් මෙම සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීමට,” යැයි අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය. මෙම යෝජිත සංශෝධනයට මහානායක හිමිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසක් විරෝධය පළ කර ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් නීතීඥ සංගමය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















