දැඩි වර්ෂාපතනයක් හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනගරය සහ යාබද ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මේ වන විට සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජපානයේ කාර්යබහුලම නිවාඩු සමයක් වන මෙම කාලය තුළ ටෝකියෝ අගනගරයට යාබදව පිහිටි චිබා ප්‍රාන්තයට පැය විසි හතරක් ඇතුළත මිලිමීටර් 360 ඉක්ම වූ වාර්තාගත වර්ෂාපතනයක් පතිත වී ඇත. මෙම අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුර තත්ත්වය නිසා මාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටවී ප්‍රවාහන සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, නිවාස රැසක විදුලිය ද විසන්ධි වී තිබේ. ජලයෙන් යට වූ වාහනයක සිරවීමෙන් සිදුවූ මරණයක් ඇතුළුව මරණ හතරක් මෙතෙක් තහවුරු කර ඇති අතර, තවත් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රවාහන කටයුතුවලට ඇති වූ බාධා හේතුවෙන් නරීටා ගුවන්තොටුපොළේ මගීන් 7,000කට ආසන්න පිරිසක් සිරවී සිටින අතර, සහන සේවා කටයුතු සඳහා හමුදා භටයන්ද එම ප්‍රදේශයට යොදවා ඇත.














