වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය හැකි කිසිදු ජගතෙක් රට තුළ නොමැති බවත්, රටේ සැබෑ විපක්ෂයක් හෝ ආණ්ඩුවට එරෙහිව කිසිදු බලවේගයක් නොමැති බවත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවති මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ විශේෂ හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තම පක්ෂයේ ටිල්වින් සිල්වා ඕනෑම වෙලාවක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට හැකි වුවද, ඔහු කිසිදිනක ඇමතිකම් හෝ මන්ත්‍රීකම් දරා නොමැති බවයි. තවද, වසර 42ක දේශපාලන ජීවිතයක් ගත කළ තමන් යළි කිසිදු දිනක මහනුවරින් ඡන්දය නොඉල්ලන බවත්, මහනුවරින් ඡන්දයට ඉදිරිපත් වූයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් නිසා පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම හමුවේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන් මුහුණපා ඇති ආර්ථික දුෂ්කරතා සහ ගැටලු අමාත්‍යවරයා හමුවේ අනාවරණය කළ අතර, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















