ශ්‍රී ලංකාව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියේ 35 වන සැසිය අමතමිනි.
මෙම සැසියට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙත ගොස් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ අදාළ සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී දායකත්වය ලබාදෙන අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරන නිලධාරීහු ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා එක්ව සිටිති. 2016 වසරේදී ශ්‍රී ලංකාව මෙම සම්මුතියට එළඹුණු අතර, වසර 10ක් තුළ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ වාර්තාවක් මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
සැසිය අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියේ 18 වන සහ 19 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමක් බවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධ සහිත පුද්ගලයකු වන ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම මඟින් ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධ සහිත ප්‍රජාවගේ හඬට සෘජුවම සවන් දීමට අවස්ථාව සැලසී ඇති බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කරන අයවැය ප්‍රතිපාදන 2022 වසරේ පැවති රුපියල් බිලියන 48 සිට 2026 වසර වන විට රුපියල් බිලියන 81 දක්වා ඉහළ නංවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
රටේ යටිතල පහසුකම්වල පවතින ප්‍රවේශවීමේ බාධා හඳුනා ගැනීම සඳහා ජාතික ප්‍රවේශ විගණනයක් (National Accessibility Audit) ආරම්භ කර ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත පතුල පහත් බස් රථ 104ක් සේවයේ යෙදවීමට සහ රියදුරන්ට මෙන්ම සහායකයන්ට සංඥා භාෂා පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. මීට අමතරව, 2025 මාර්තු මාසයේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය පිහිටුවා ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට ද පියවර ගනිමින් පවතී.
















