ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කිසිදු ආකාරයක පසුතැවීමක් ඇතිනොවන දීප්තිමත් අනාගතයක් තනාදීමේ ස්ථාවර සැලැස්මක් සර්වජන බලය සතුව ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල මහ නගර සභා ක්‍රීඩාංගනයේ ඇම්ෆිතියටර් පරිශ්‍රයේදී පැවති “සර්වජන Youth Vibe 26” තරුණ සමුළුවට එක්වෙමිනි.
“වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු” යන තේමාවෙන් තරුණ තරුණියන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, තාරුණ්‍යය කනස්සල්ලට හෝ පශ්චාත්තාපයට පත්වන කිසිදු දෙයක් තම දේශපාලන ව්‍යාපාරය තුළ සිදු නොවන බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පළමු වතාවට ඡන්දය භාවිත කරන තරුණ තරුණියන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සිටින බවත්, ඔවුන්ගේ ඒකාබද්ධ තීරණය මත රටේ අනාගතය එක රැයකින් වෙනස් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ඍණාත්මක අදහස්වලින් බැහැරව ධනාත්මක චින්තනයෙන් යුතුව ලෝකයේ ඕනෑම රටක් සමඟ හැප්පිය හැකි ශක්තියක් හා දැනුමක් මෙරට තාරුණ්‍යයට ඇති බව පවසමින්, සැමගේ අපේක්ෂාවන් ඉටුවන දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා එක්වන ලෙස ආරාධනා කළේය.
















