ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හා කුඩා ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත බැස ඇති අතර, එමගින් ජනතාව සහ සත්ව ප්‍රජාව දැඩි පානීය ජල අර්බුදයකට මෙන්ම වගා හානි රැසකට ද මුහුණ දී සිටිති.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට 37% දක්වා පහත බැස ඇති අතර, විශේෂයෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා වැව්වලට මෙහි දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
දිස්ත්‍රික් මට්ටමින් බලපෑම් එල්ල වී ඇති ආකාරය සැලකීමේදී, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9ක ජල මට්ටම 23% දක්වා අඩුවී ඇති අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක ජල මට්ටම 26%ක් ලෙස සටහන් වේ. තවද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම 28%ක් වන අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක ජල මට්ටම් 42% දක්වා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10ක ජල මට්ටම 43%ක සාමාන්‍යයකට පහත බැස තිබේ.
මෙම තත්ත්වය නිසා අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මොනරාගල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට සහ සතුන්ට පානීය ජල අර්බුදයකට මුහුණදීමට සිදුව ඇත. හිඟුරක්ගොඩ කිතුල්උතුව වැව සිඳී යාමෙන් ගොවි පවුල් 50කට ආසන්න පිරිසක් සහ අක්කර 50කට වැඩි වගා බිම් ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, තිරප්පනේ, කරඹෑගම, මාරාකුලම සහ කන්තලේ ආදී ප්‍රදේශවල ද වගා බිම් සහ කිරි ගවයන් දැඩි පීඩාවට පත්ව ඇත. මීට අමතරව, ලග්ගල කළුගඟ ජලාශයේ ජල මට්ටම පහළයෑම හේතුවෙන් පල්ලේගම නගරයේ ස්ථාන කිහිපයක් ද මේ වන විට මතුව තිබේ.














