ශ්‍රී ලාංකේය ජන සමාජය වර්තමානයේ මුහුණ දී සිටින දැඩි ජීවන වියදම් පීඩනය සහ ආර්ථික අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාවගේ දෛනික පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය අලෙවි ජාලය සහ සමුපකාර ව්‍යාපාරය සක්‍රිය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
පෞද්ගලික වෙළෙඳුන් භාණ්ඩ සඟවා කෘත්‍රිම හිඟයක් නිර්මාණය කරමින් පාරිභෝගිකයා අසාධාරණ ලෙස සූරාකන යුගයක, ලංකා සතොස, සමුපකාර ජාලය සහ ලක්සල වැනි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සැබෑ ලෙසම ශක්තිමත් කිරීමෙන් ජනතාව වෙත සහන සැලසිය හැකි බව මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා මහතා පෙන්වා දෙයි.
මෙම අර්බුදයෙන් මිදීම සඳහා රජය මඟින් මතුපිටින් සිදුකරන මිල පාලන නියෝග සාර්ථක නොවන බව වටහාගත යුතු අතර, රජය කළ යුත්තේ සෘජුවම වෙළෙඳපොළට මැදිහත් වීමයි. එනම්, රජය විසින් සෘජුවම වී, එළවළු, මාළු සහ වෙනත් කෘෂි නිෂ්පාදන මිලදී ගෙන, ඒවා සමුපකාර සහ සතොස ජාලය හරහා සාධාරණ මිලකට ජනතාවට නිකුත් කිරීමයි.
අතීතයේදී රටේ ඕනෑම බරපතළ ආහාර හිඟයකදී සහ කළුකඩ ව්‍යාපාරිකයන්ගේ අසාධාරණ මිල ගණන් හමුවේ ජනතාවගේ එකම සහන කේන්ද්‍රස්ථානය වූයේ සමුපකාරය සහ සතොසයි. එහෙත් වර්තමානය වන විට මෙම රාජ්‍ය අලෙවි ජාලයන් ක්‍රමයෙන් කඩාවැටී, පාරිභෝගික විශ්වාසයෙන් ගිලිහී යාමට බාල ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ අලෙවි කිරීම, වංචා සහ අක්‍රමිකතා මෙන්ම සේවකයන්ගේ ආකල්පමය දුර්වලතා ප්‍රධාන හේතු වී තිබේ.
එබැවින්, සමුපකාර සහ සතොස නවීකරණය කර ‘කෝප් සිටි’ (Co-op City) වැනි නූතන ගෝලීයකරණයට ගැළපෙන, පිරිසුදු, ආකර්ෂණීය වෙළෙඳසල් බවට පරිවර්තනය කළ යුතු අතර, සේවකයන්ට නිශ්චිත අලෙවි ඉලක්ක ලබා දී ඒවා ඉටුකරන විට දිරිගැන්වීම් දීමනා ලබාදීමටත් පියවර ගත යුතුය. දේශපාලන වාසි තකා සිදුකරන හිස් ප්‍රකාශ වෙනුවට, ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා දිවෙන සාධාරණ සැපයුම් ජාලයක් නිර්මාණය කිරීම හරහා රටේ ජීවන වියදම් පීඩනය පාලනය කර දේශීය ආර්ථිකය ගොඩනැඟීමට හැකි වනු ඇත.














