ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයට නව ආයෝජන අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත රජයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස් (Olivier Praz) මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (17) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ද එක්වූහ. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නැව් සමාගමක් වන MSC (Mediterranean Shipping Company) සමාගම විසින් ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් පළ කර ඇති බව නියෝජ්‍ය තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ව්‍යාපෘති සඳහා පෞද්ගලික ආයෝජකයාට මෙහෙයුම්, මානව සම්පත් සහ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු සහ සාධාරණ නිදහසක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, කොළඹ වරාය තුළ අක්කර 14ක පමණ භූමි ප්‍රමාණයක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ සැලැස්ම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.














