ස්වීඩනයේ ආරම්භ වී දැනට ඇමෙරිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන Heart Aerospace සමාගම විසින් නිෂ්පාදිත X1 demonstrator නැමැති ලොව විශාලතම විදුලි-හයිබ්‍රිඩ් ගුවන් යානය සිය මංගල පරීක්ෂණ පියාසර කිරීම සාර්ථකව නිමකර තිබේ. නිව්යෝර්ක් හි Plattsburgh ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදුකළ මෙම පියාසර කිරීම සඳහා වැයවී ඇත්තේ ඩොලර් 5 කට ආසන්න විදුලි පිරිවැයක් පමණක් බව Gulf News ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යානය මිනිත්තු 27 ක කාලයක් පුරා අඩි 1,100 ක (මීටර් 335) උසකින් පියාසර කර ඇති අතර, එහි බර කිලෝග්‍රෑම් 11,340 කට ආසන්න වේ. මෙගාවොට් 1 කට වැඩි බලයකින් යුත් බැටරි පද්ධතියකින් ක්‍රියාත්මක වූ මෙම යානය, අනාගතයේදී මගීන් 30 දෙනෙකුට ගමන් කළ හැකි ES-30 වාණිජ ගුවන් යානය නිෂ්පාදනය කිරීම සඳහා වන තාක්ෂණික පරීක්ෂණයක් ලෙස මෙලෙස සාර්ථකව පියාසර කරවා ඇත.














