ඇමරිකානු – චීන දේශපාලන උණුසුම මධ්‍යයේ, තම පික්සෙල් (Pixel) ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ඔරලෝසු සහ රැහැන් රහිත ඉයර්බඩ් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම චීනයෙන් බැහැරව සිදු කිරීමට ගූගල් (Google) සමාගම සැලසුම් කර තිබේ. ඒ අනුව 2027 වන විට සියලුම පික්සෙල් නිෂ්පාදන චීනයෙන් ඉවතට ගෙනයාමට සැපයුම්කරුවන්ට දැනුම් දී ඇති බව ‘නිකේ ආසියා’ (Nikkei Asia) වාර්තා කරයි.
මෑත වසරවලදී වියට්නාමය සහ ඉන්දියාව තුළ නිෂ්පාදන ධාරිතාව ආක්‍රමණශීලී ලෙස පුළුල් කර ඇති ගූගල් සමාගම, වියට්නාමයේදී උසස් පෙළ පික්සෙල් දුරකථන සාර්ථකව නිෂ්පාදනය කිරීමත් සමඟ මෙම තීරණයට එළඹ ඇත. චීන වෙළඳපොළ තුළ පික්සෙල් දුරකථන අලෙවි නොකරන බැවින්, සැම්සුන් සමාගමෙන් පසු චීනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන දෙවන ගෝලීය සන්නාමය බවට ගූගල් පත්වනු ඇත. වැඩිවන මතක චිප් (memory chips) පිරිවැය හමුවේ වුවද, තම ජෙමිනි (Gemini) කෘත්‍රිම බුද්ධි යෙදුම් පාරිභෝගිකයන් වෙත ළඟා කරදෙන ප්‍රධාන දොරටුවක් ලෙස පික්සෙල් දුරකථන භාවිත කරමින්, මේ වසරේ තම නැව්ගත කිරීමේ ප්‍රමාණය 8%කින් හෝ 10%කින් ඉහළ නංවා ගැනීමට ගූගල් අපේක්ෂා කරයි.














