එල්-නිනෝ (El Niño) කාලගුණ බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ අරමුණින්, පාරිසරික අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ රැස් විය.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින මඩකලපුම, මොණරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් තීරණය විය. තවද, වැවිලි, කෘෂිකර්ම, වනජීවී සහ ජල සම්පත් කළමනාකරණ අංශ වලින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, භූගත ජල මට්ටම පහත යෑම හමුවේ ගත යුතු ඉදිරි පියවර මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.














