ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලේ පහසුකම් භාවිතයට ගනිමින් ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල නවීන භෞතික පහසුකම් හා අතිනවීන උපකරණවලින් සමන්විත වුවද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමාවන් හේතුවෙන් එහි සම්පත් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇත. අනෙක් අතට, ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ ශල්‍යකර්ම සඳහා පවතින ඉහළ ඉල්ලුම නිසා දිගු පොරොත්තු ලේඛනයක් පවතී. ඒ අනුව, කොතලාවල රෝහල ජාතික රෝහලේ පළමු දිගුවක් ලෙස යොදා ගනිමින් පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබෙනු ඇති අතර, ඒ සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.














