බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටි නිල්දිය පොකුණ ආශ්රිත සංචාරක කටයුතු, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ යළි ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
අතිශය දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් වන නිල්දිය පොකුණ, එහි පවතින සුවිශේෂී භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. මෙම ස්ථානය සංරක්ෂණය කිරීම සහ එහි සංචාරක කටයුතු විධිමත් ලෙස නියාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන ඇති බැවින්, ඒ සඳහා තාක්ෂණික කමිටුවක් පත් කර වාර්තාවක් ද ලබාගෙන ඇත.
එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සංචාරක කටයුතු නියාමනය කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කර ඇති අතර, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව අදාළ නියෝග ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.














