නවීන තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය වූ අඳුරු සිතුවිලි ජාලයක කෙළවරක් සනිටුහන් කරමින්, අමෙරිකාවේ මැසචුසෙට්ස් හි ඇක්ටන් (Acton) නගරයේ නිවසක් තුළදී 45 හැවිරිදි මවක සහ 14 හැවිරිදි බාල සොහොයුරා අභිරහස් සහ ප්‍රචණ්ඩකාරී ලෙස ඝාතනය කර තිබේ. බාහිරින් ඉතා සාමකාමී යැයි පෙනුණු නිවස තුළ එක්වරම සිදුවූ මෙම ම්ලේච්ඡ ක්‍රියාව හෙළිදරව් වූයේ, උපකාරක පන්ති ගුරුවරියකට නිවසට ඇතුළු වීමට නොහැකි වී පියා විසින් කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමත් සමඟය.
පොලිසිය නිවසට ඇතුළු වන විටත් සිරුරු දෙකම බිම් මහලේ සහ පළමු මහලේ දරුණු පහරදීම්වලට ලක්ව මියගොස් තිබූ අතර, මුළු ප්‍රදේශයම දැඩි කම්පනයකට පත් කරමින් 17 හැවිරිදි වැඩිමහල් පුතු අතුරුදන්ව සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි අර්ජුන් අරවින්ද් (Arjun Aravind) නමැති ඉන්දීය සම්භවයක් සහිත සැකකාර තරුණයාගේ අන්තර්ජාල භාවිතය පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන්ට අතිශය බියකරු කරුණු රැසක් අනාවරණය විය. ඔහු මෙම ද්විත්ව ඝාතනය සිදුකිරීමට පෙර ChatGPT වැනි කෘතිම බුද්ධි මෙවලම් භාවිත කරමින් තම පවුලේ සාමාජිකයන් මරාදැමීම පිළිබඳ මනඃකල්පිත හා ගොතික් (Gothic) ආරයේ භීෂණ කතාන්දර ගොඩනඟා ඇති බව අනාවරණය වී තිබේ. ඝාතනයෙන් පසු මවගේ මෝටර් රථයෙන් පළාගිය සැකකරු අසල නගරයක රථගාලකදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරා ඇප රහිතව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කෘතිම බුද්ධිය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වර්තමානයේ, මානසික අවපීඩනයට හෝ විකෘති මනෝභාවයන්ට ලක්වූ නව යොවුන් වියේ පසුවන්නන් ඩිජිටල් තාක්ෂණය වැරදි ලෙස භාවිත කිරීමෙන් සිදුවිය හැකි මාරාන්තික විපාක මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ. මෙවැනි ඛේදවාචකයන් යළි සිදු නොවීමට නම්, අපේම දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සහ මානසික සුවතාව පිළිබඳව වැඩිහිටියන් මීට වඩා දහස් වාරයක් අවදියෙන් සිටිය යුතු බව මෙම ඛේදනීය පුවත සමස්ත ලෝකයටම දෙන ප්‍රබල අනතුරු ඇඟවීමකි.














