දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ යම් ප්‍රමාණාත්මක වර්ධනයක් දක්නට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
විශේෂයෙන්ම වෙනත් ව්‍යාපාරික ක්ෂේත්‍රවල මුදල් ආයෝජනය කර සිටි පිරිස් සහ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම මේ වන විට ඖෂධ නිෂ්පාදනයට යොමුවී ඇති බව ඔහු අවධාරණය කළේය. ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ එක් අරමුණක් වන්නේ දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම වන අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් රාශියක් සලසමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිලදී ගැනීමේදී දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත්, ඔවුන්ගේ මිලදී ගැනීම් සහතික කරමින් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














