පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය (SJB) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. SC/SD/31/2026 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
මෙම යෝජිත සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ කාලසීමාව වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වයට, බලය බෙදීමට සහ ජනතාවගේ ස්වෛරීභාවයට බලපාන බව පෙත්සම්කරු පෙන්වා දෙයි. එබැවින්, මෙම ප්‍රතිපාදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීරණයක් ලබා දෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.














