ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කර, නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ව්‍යවස්ථා සංශෝධන සිදු කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් බවට පළවන ප්‍රකාශ අසත්‍ය බව අවධාරණය කළ ඔහු, අධිකරණ පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීම විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමෙන් හෝ නව බඳවා ගැනීම් සිදු කිරීමෙන් පමණක් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.
ඒ සඳහා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධ නීතිමය කරුණු මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බව ඔහු සඳහන් කළේය. නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් ලබාදීමටද රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














