ජාතික තරුණ සේවා සභාව සහ ඉන්දියාවේ ‘Indian Foundation for Global Peace Education, Bengaluru’ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා තරුණ තරුණියන් 18 දෙනෙකු සහ නිලධාරීන් 2 දෙනෙකු ඇතුළත් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගත් මෙම කණ්ඩායම අගෝස්තු 16 වැනි දින ආරම්භ වූ මෙම වැඩසටහන සඳහා එක්ව ඇති අතර, එය මේ මස 22 වැනි දින දක්වා පැවැත්වේ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සහ කරුණාටක රාජ්‍යයේ තරුණ සවිබළ ගැන්වීමේ සහ ක්‍රීඩා කොමසාරිස්වරයාගේ අන්තර් සහයෝගිතාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම සංචාරය අතරතුර බැංගලෝර් සහ මයිසූර් නගරවල සංචාරය කරමින් ගාන්ධි භවන් මහාබෝධි සංගමය නැරඹීම, යාඥා වැඩමුළුවකට සහභාගී වීම, විශ්වේශ්වරය කාර්මික හා තාක්ෂණික කෞතුකාගාරය සහ ග්‍රහලෝකාගාරය නැරඹීම, මයිසූර් මාලිගය සහ KRS වේල්ල ඇතුළු ස්ථාන නැරඹීමට නියමිතය. ඊට අමතරව, ශේෂාද්රිපුරම් විද්‍යාලය වෙත ගොස් සරසවි දිශානතිය සහ තරුණ හුවමාරු සැසිවලට සහභාගී වෙමින්, වැඩසටහන අවසානයේ සහතික පත් ලබා ගැනීමටද නියමිතව ඇත.














