කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය, එහි ඇති පෞරාණික උරුමය සහ පැරණි ගොඩනැගිලිවල සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය විසින් පුළුල් සැලසුම් සකස් කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී.
ලෝක බැංකු මූල්‍ය ආධාර හා ණය යටතේ ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය මෙන්ම කොළඹ මහනගර සභාව ඒකාබද්ධ දායකත්වයක් ලබා දෙයි. මෙම සංවර්ධන වැඩසටහන හරහා කොළඹ වරාය නගරය සහ මෙරටට පැමිණෙන සංචාරක නෞකා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීම රජයේ අපේක්ෂාව වී තිබේ.
කොටුව ප්‍රදේශයේ නිරන්තරයෙන් පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති විධිමත් රථවාහන අධ්‍යයනය පිළිබඳව ද මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරිණි. සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පවතින ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැඩිව උපදෙස් ලබා දී ඇත.
ව්‍යාපෘතියේ සමස්ත සැලැස්ම යළි සමාලෝචනය කර සකස් කර නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව සමඟ එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැන වැඩිදුර සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා දන්වා තිබේ. ඓතිහාසික වටිනාකම් සහ නවීන නාගරික සංවර්ධනය එකිනෙකට සමබරව පවත්වා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය අතිශයින් ඉහළ යනු ඇති බව බලධාරීහු විශ්වාසය පළ කරති.
















