පුත්තලම සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද සවස 5.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනය දක්වා බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව, සඳහන් කළ මුහුදු ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වන කොටස්වල මුහුදු රළ මීටර් 2.5ත් 3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන්ම බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදී සිටින ප්‍රජාව දැඩි සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කරන මෙන් බලධාරීන් තරයේ ඉල්ලා සිටී.
















