ඉරානය විසින් තමන් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්, එම රට සමඟ පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ. දැනටමත් අමෙරිකානු සම්බාධක සහ විවිධ බාධක හේතුවෙන් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම තීරණයත් සමඟ ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉරානය දෙසින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවමින්, ඊයේ (18) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට හදිසි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි. පසුගිය සති කිහිපය තුළ මෙවැනි හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වන අතර, පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ යුදමය ගැටුම්වල මුල් අදියරේදී ද ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දෙරට අතර වෙළඳ සබඳතා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
ජූනි මස අගභාගයේදී යුදමය වාතාවරණය යම් තාක් දුරකට ලිහිල් වීමත් සමඟ දෙරට අතර ඇතැම් සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ආරම්භ කර තිබූ නමුත්, වර්තමාන තත්ත්වය මත මෙම තීරණය ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත. කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර චෝදනාව ඉරාන බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.














