ඉන්දියානු ජාතිකයෙකු වෙනුවෙන් ඇප අත්සන් කිරීමට මුදල් ලබාගෙන අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ, සබැඳි ආරච්චිවත්ත පදිංචිකරුවන් දෙදෙනෙකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. හුසේන් මොහොමඩ් සහ හසීත් මොහොමඩ් යන විත්තිකරුවන් දෙදෙනා හඳුනා නොගත් පුද්ගලයෙකු වෙනුවෙන් මුදල් ලබාගෙන ඇප අත්සන් කිරීමට ඉදිරිපත් වීම, අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සහ එම අපරාධවලට අනුබල දීම යන චෝදනා යටතේ දීර්ඝ නඩු විභාගයකින් පසු මෙලෙස වරදකරුවන් කර ඇත.
අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් මෙම නඩුව පවරා තිබූ අතර, විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔවුන් විත්තිකූඩුවේ සිට අධිකරණයෙන් සාධාරණයක් ඉල්ලා සිටියේය. පළමු විත්තිකරු තමාට කුඩා දරුවෙකු සිටින බව සලකා බලන ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි අතර, මෙවැනි වැරදි සිදු කරන පුද්ගලයින්ට සමාජයට ආදර්ශයක් වන අයුරින් උපරිම දඬුවම් ලබා දිය යුතු බව වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන් දෙදෙනාට වසර දෙකක සිරදඬුවම් නියම කළ නමුත්, ඔවුන් දැනටමත් මාස හයක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇති බැවින් එම කාලය සිරදඬුවමින් කපා හැරීමට නියෝග කළේය.














